Saturday, April 23, 2016

මෝහිණී

ක්රිෂ්ණා
නුඹ වැයූ වස්දඩුවෙ
උච්චතම ස්වරය ළඟ
රාධා බලා සිටියි
රඟන්නට අමතකව

ආතුර වී
ශිව දේව කන්නලව්වට
සිහින් කෙදිරිලි නගා
ආමරපාලියක නොවන්නට
මෝහිණිත් පැතුවේම
රාධාවක් වන්නට.

සිදුහත්
සංසාර පුරුද්දට
සෙවනැල්ල වී ඉන්න
නුඹේ මග ඔස්සේම
පැමිණි යශොදරා
යස ඉසුරු මැද තනිවෙච්ච

කළුවර
අමාවක සඳ සගවාගෙන
රාත්රිය මත්වෙච්ච මීවිතක්
නොවන්නට
මෝහිණිත් පැතුවේම
යශෝදරාවක් වෙන්න

ගැබ්බරව
මාවතින් මාවතට
පතිවෘතාව උකසටම නොතබන්ට
පතිනි මව්නි
මෝහිණිත් මඟ බලා හිටියේම
විළිරුදාවෙන් මිදුන පසු
කිරිපිඬක් දන්දෙන්න

පාළුම පාළු වංගුවල
වහන්වී ගොම්මන් ඇදිරියට
මෝහිණිය දරුව දුන්නේම
ඇගේ විලි වසාගන්න


Saturday, April 16, 2016

෴කිරිල්ලියේ෴


ඉගිල්ලෙන්න නුඹට වගේ
මට අත්තටු නොමැති නිසා
කුරුළු රජෝ කියාදෙන්න
නුඹෙ නැටුමට තාලතියා......

හොර රහසින් මුණුමුණුගා
කියනා ඔය රහස නිසා
බලන්න ඇගෙ සොදුරු මූණ
ලැජ්ජාවෙන් රතුව ගියා.......

ආදර බස් අලුත ගෙනා
මනමාලිට කියනු අසා
හාදු තියපු කදුයායම
ඉන්න හැඩයි උමතුවෙලා.....

ආලිංගන රංගනයට
නීල දෑස දිහා බලා
නිල් අහසත් ආන් බලන්
හිනා වුනා නුඹට හොරා.......

තුරුගොමු අතරින් රිංගා
මදපවනත් මුකුළු කලා
දියඇල්ලත් පුළුන් රොදක්
වී හෙමීට යාවිගලා.......

සිරිය මැදින් කුරුළුරජෝ
ආදර ගීතයක් ගයා
මටත් හිතයි ඇවිත් යන්න
උඩුගුවනේ නුඹව සොයා.........




Friday, January 22, 2016

෴මගෙ කවිය නුඹයි පුතුනේ෴'


ලමැදෙන් වෑහෙන කිරිකඳුලැල්ලක
එති එති දඟලන නුඹේ සිනාමුව
හදමත සතපා නෙළුමින් පිසලන...
කවිය නුඹයි පුතුනේ
මගෙ කවිය නුඹයි පුතුනේ..........

දළදා සමිදුන් පිහිටට එන්නැති
ජය ශ්‍රි මහ බෝ සිසිල විදින්නැති
පැතුමන් සහසක් හදමත දල්වා
කිරිකැටි සිහිනය නෙතුමත අදිනා
කවිය නුඹයි පුතුනේ
මගෙ කවිය නුඹයි පුතුනේ........

අහසට තරු කැටයක් මදි වෙන්නැති
සුර අගනක කිරි දෝර ගලන්නැති
සිහිනය සරසා ලමැදේ සැගවෙන
කවිය නුඹයි පුතුනේ
මගෙ කවිය නුඹයි පුතුනේ.......




Sunday, January 3, 2016

ඔබ සැමට සුබ නව වසරක්



෴නොලද්දෙමි මිනිසත් බවක්෴


සන්සුන් ගමන් වඩිනා ඔබ රුව.......... දැකලා
මන්මත් වුනා මම සිතුවිලි ගෙන ........හැරලා
නිල්වන් නුවන් කරුණාවෙන් ඇත .... පිරිලා
පින්වත් නුඹේ ගැන මට දෙනවද ....... කියලා

සසරේ දුකින් මිදෙනට පෙරමඟ ............. සෑදූ
සසුනේ උතුම් ගුණදම් සිත ගෙන ............ පෑදූ
නිවනේ ගමන් මඟ එළිකර පව් ............. සේදූ
මිතුරේ මමයි අපෙ පංසලෙ පොඩි ......... සාදූ

කහවත දකිනවිට නෙත සිත යයි ....... පිනලා
සඳවත විලස දිස්දෙයි නුඹෙ වත ........ කමලා
දඟලන මගේ වත සිතු ලෙස නොම .... තබලා
හිතවත කියා දෙනුමැන හැකිවෙද ...... කියලා

පිටුපා බුදුරුවට නුඹ ඉදගෙන .......... ඉන්නේ
කුසුමන් පුදන අසුනට නෙවබර..... දෙන්නේ
නුඹටා හැකි පමණ යහගුණ ....... පතුරන්නේ
පිනටා ලැදිව මිනිසත් බව ලැබ ........ ගන්නේ

පින්මද නිසාවෙන් මෙසසර දුක ......... කැන්දූ
ඉන්නට සිදුවුනා මෙම භවයක ........... බැන්දූ
යන්නට මිදී එතරට නෙතසිත .............. පෑදූ
සම්බුදු සමිදු මම අද වදිනෙමි ................. සාදු

ඉපදී පිනට මිනිසුන් යනවිට .......... නොමගේ
සැලුනා කඳුළුවැල් ඉදහිට මගෙ ..... නෙතගේ
උන්නා භවක හිමිරජ වානර ............. වරගේ
නුඹටා හැකියි පාදන්නට නෙත් ......... සැමගේ

රසට රසේ රස කවිපද වැලක් ........ ගොතා
නිලට නිලේ නිල් නුබකුස ලියමි ....... සිතා
රතට රතේ රතුරෝසින් මලක් .......... පතා
නුඹට නුඹේ නුඹ සිතතුල ලැගුම් ........ ගතා

෴නුඹේ පුංචි සපත්තුමල෴


අහංකාර මද සුළඟත් මල්පෙති සිපගති රහසෙම
නුඹෙ සුසුමක උණුසුම මිස හාදු නැහැනෙ මගෙ නලළට
හිත ඩැහැගත් හිමිදිරියේ රොබෝරෝසියා සුවඳිට
ඇස නොගැටුනිදෝ මොහොතක් නුඹේ පුංචි සපත්තුමල

හිත අස්සේ නුඹ අමුණපු ආදරයේ මුලකුර ගෙන
නුඹට හොරා සැගවුනි මම නුඹෙ හැඩිදැඩි උරපතුවල
සුදට සුදේ පෙණ කැටි වැටි නුඹෙ ආදර සාගරෙ බැස
වාන් දමන හිත අරගෙන ආසයි මට කිමිදෙන්නට

රුක් අත්තන මලක් වුවද බිදුවක් ලග නැවතී සිට
ආදරෙ බිදුවක් දෙනවද නුඹේ පුංචි හිගන්නියට

හැමදාමත් සුරදූතයො කවි ලිව්වේ දේදුන්නෙද
මගෙ ආදරෙ මගෙන් අරන් තහනම් කලෙ මට කවුරුද