Sunday, December 6, 2015

෴අම්මා නූඹයි෴



වැහැරී ගතම මතකය අඩුවුනා කියා
මඩමේ මහළු උන්නා අම්මෙක්ද තියා
කඳුලේ කථාවක් සගවා ගත්තු නියා
බැලුවේ මදෙස මාවත් දමනවද ඔයා

මතකය තවම නුඹ සෙනෙහස හද පල්ලේ
වැටුනය කියා මා ඔසවන් ගිය තාලේ
ගෙවුනය සති දෙකක් රෝහල තුල කාලේ
රිදුනය නුඹට මට වැඩියෙන් හැම වේලේ

උන්නා එදින ඇකයේ නුඹ තුරුල්ලේ
කිව්වා කථා රස කර රජ මඩුල්ලේ
දුන්නා ඔවා යහමග ගැන ඇසිල්ලේ
අම්මා නුඹයි මට මව් නැති මුළුල්ලේ

පන්සිය පනස් ජාතක පොතටත් වැඩියෙන්
අත්තම්මා කියයි රස කර ඇති සැටියෙන්
ගාථා පාඩමට හවසට හද බැතියෙන්
මුල් ගුරු නුඹම විය මට පෙල පොත අටියෙන්

කවදත් රැජිණියයි හදවත් බැදි තාලේ
වෙනසක් නොවෙයි ඉරහද පායන වේලේ
කවියත් පන්හිදත් සිහි  කරවයි බාලේ
තවමත් පුරහඳයි නුඹ ගෙයි මැද සාලේ


෴අප්පච්චී෴


උසාවියේ නඩු හබේට නුඹ මවගෙන් වෙන් වෙන කොට
දෑසෙ කඳුළු කැට කඩාන මමත් උන්න අප්පච්චී
අපිව දාල දුර ඈතක අහක බලන් නුඹ යන කොට
කඳුළු පිහින්නට අම්මගෙ මට බැරිවුන අප්පච්චී

හැමදාමත් මම හවසට වැට කඩුල්ල උඩ ඉදගෙන
මග බලාන උන් විත්තිය නුඹ නොදනිද අප්පච්චී
සීනි බෝල ටොෆි චොක්ලට් නුඹ දවසක් ගෙන ආවට
දවස්තිහක් නුඹෙ සෙනෙහස අහිමියි මට අප්පච්චී

හැමදාමත් නුඹ නාවට නුඹේ අතින් අල්ලා ගෙන
හැම හීනෙම නුඹ බලන්න එන්නම් මම අප්පච්චී
මගේ අතින් අල්ලාගෙන දවසක් යමු ඉස්කොලෙට
ආසයි මට පෙන්නන්නට නුඹයි මගේ අප්පච්චී

උරපත්තට හිස තියාන කථා ගොඩක් ඇත කියන්න
දවස් තිහක් බලා උන්න උඹ එනකම් අප්පච්චී
තරු දිලිසෙන ආකාසෙට පුරහඳ එන්නේ කවදද
නුඹෙ පපුවට තුරුල් වෙන්න ආසයි මට අප්පච්චී




෴අනන්තය෴



තෙරක් නොපෙනෙන දුරක්
අතත් පටලන් යන්න
හදවතම පහුරු ගෑ
නුඹ කොහිද මට කියන්

පියෙන් පිය නුඹ සොයන්
ඉදිරියට ඇදෙන මග
තව තවත් හැරෙයි දිග
නැවතුමක් නැතිද ලග
යොමා ඉන්නම් සවන්
ඇසෙනසේ මට කියන්


යනෙන මේ ගමන් මග
සෙවනැලිද නැතිය ලග
හිරුගෙ රැස් දහර මැද
කළුවරත් කරයි දඟ
නොපෙනෙනා නවාතැන
අනන්තය කොහිද නුඹ
ඇසෙනසේ මට කියන්

Friday, November 20, 2015

෴ නූඹම විය මට෴



සෙනෙහසේ උල්පත් දෙකක් ලග
ගලායන කිරි සුවදක වෙලී
පුංචි අතු ඉති මලින් පුරවා
මහ ගසක් හැදෙනා හැටී
තුරුමතින් ගිලිහෙනා පිණිබිදු
සිසිලසින් ප්රේමය දැනී
මහා සත්කුළු පව්ව නුඹවිය
ඉන්න නොසැලී හිනහෙහී

පුන් සඳත් සැඟවුනා නුඹ දැක
වලා පටලට තුරුළු වී
තරු පොකුරු දිළිසුනා දැක
නුඹේ සෙනෙහෙන් උදම්වී
පාට සායම් පෑදි දේදුනු
නීල අහසට පාය එද්දී
මහා අම්බර නුඹම විය මට
නැතිව වෙනසක් ඉන්න හිනහී

නුඹේ සෙනෙහස් සුවද විදගෙන
ගලන ගඟුලක් පැද්දි පැද්දී
හැපෙන ගල් කුල කියා දුන්නා
යන්න ඉදිරිය නොසෙල්ලී
මහා මුහුදට වැටෙන්නට පෙර
තවත් මොහොතක් තුරුළු වෙද්දී
මහා ගංගා දහර නුඹ විය
මගේ පසුපස ආව එක්වී