Saturday, October 22, 2016

෴අප්පච්චී෴


 


 

උසාවියේ නඩු හබේට නුඹ මවගෙන් වෙන් වෙන කොට
දෑසෙ කඳුළු කැට කඩාන මමත් උන්න අප්පච්චී
අපිව දාල දුර ඈතක අහක බලන් නුඹ යන කොට
කඳුළු පිහින්නට අම්මගෙ මට බැරිවුන අප්පච්චී

 

හැමදාමත් මම හවසට වැට කඩුල්ල උඩ ඉදගෙන
මග බලාන උන් විත්තිය නුඹ නොදනිද අප්පච්චී
සීනි බෝල ටොෆි චොක්ලට් නුඹ දවසක් ගෙන ආවට
දවස්තිහක් නුඹෙ සෙනෙහස අහිමියි මට අප්පච්චී

 

හැමදාමත් නුඹ නාවට නුඹේ අතින් අල්ලා ගෙන
හැම හීනෙම නුඹ බලන්න එන්නම් මම අප්පච්චී
මගේ අතින් අල්ලාගෙන දවසක් යමු ඉස්කොලෙට
ආසයි මට පෙන්නන්නට නුඹයි මගේ අප්පච්චී

 

උරපත්තට හිස තියාන කථා ගොඩක් ඇත කියන්න
දවස් තිහක් බලා උන්න උඹ එනකම් අප්පච්චී
තරු දිලිසෙන ආකාසෙට පුරහඳ එන්නේ කවදද
නුඹෙ පපුවට තුරුල් වෙන්න ආසයි මට අප්පච්චී

 

 

 

 

 

 

හිණී ජයන්ති ලියනග