Friday, November 13, 2015

නිළමෙලා වඩින පෙරහැරට ඔහු කොප්පරා පහන් ගෙන ගියේය.



එබී බලනා වෙලේ දිවයුරු වැටුණ පිණිබිදු ඉහිරිලා
බලෙන් පුප්පපු නෙළුම් මලකට කිරි ඉද්දමල් යටවෙලා

ගිලී දිවයුරු එන්න පුන්සඳ නැගී අහසට හිනහිලා
බලා ගන්නට පෙරහැරේ හැඩ වලා අතරින් මිරිකිලා
කස හඬට යුගසවන් යොමුකර බලාහිදි හැම පුලපුලා
එළිය දෙන්නට දැවෙන කොප්පර රැගෙන යයි ඔහු ඉවසලා

ධාතු වඩමන වරණිදුත් ඇත සේදභරණින් සැරසිලා
තාන තන තන තතන තන තන තානමට ඉඟ සොලවලා
දෑස නවතින සොදුරු රූමත ඔහුව යාවී ගිලිහිලා
තේජසින් පෙරහැරේ මුලසුන ගනී සියළුම නිළමෙලා

පැලේ අගහිග කොප්පරාමත දැවී හුළඟට මුසුවෙලා
ඇසේ කඳුලක් රදා පියවර තබයි භක්තිය වැඩිවෙලා
නැගී කරගැට උරපත්ත මත සිනහවෙන් එය සඟවලා
දෙනෝ දාහක් දෙනා ඇස්මත සතුට ගෙනෙනට තැත්කලා


No comments:

Post a Comment