Friday, April 12, 2019

තක්සලා සුවඳ

පි:
නෙලන්නට බැරි මලක් පිපුණා
ගිම්හාන කාලේ
තක්සිලාවට සුවඳ අරගෙන
සුළඟ කිම නාවේ

ගැ:
අඳුරු අහසම එළිය කරගෙන
සඳක් දිලුනාවේ
මඟ කියාදෙන තරුව ඔබමය
ඈත ආකාසේ

පි;
වසන්තය අත වනන මොහොක
සොඳුර ⁣නුඹ නාවේ
තක්සිලාවේ මහළු දොරගුළු
වැසී තිබුණාවේ

ගැ:
හුදකලාවක  ගැයුන ගීතයෙ තනුව ඔබ වාගේ
මගේ දෑසට දෑස යාවී ගොළුවුණිද රහසේ

ගැ:
නුඹේ පහනින් එළිය ළද මා ඇවිද යන මොහොතේ
තක්සිලාවම රකියි මුණිවත මාගේ සිත වාගේ

පි
සිතේ ඇවිලෙන නුරා ගිනි දැල්
නිවීයන අතරේ
තක්සිලාවට පුරුදු සීතල තනිය මැකුවාවේත

Friday, April 5, 2019


දුයිෂෙයින්

අයිලයේ අඳුරු මුල්ලක තවම නුඹ මට පේනවා
වැහිකබායෙන් වැසුන උණුහුම රාත්‍රිය මැද  දැනෙනවා
තවම මම ඔබ හොයනවා
අයිලයේ තැන තැන බලනවා
පුරුදු සුවඳක් සොයනවා

අපිට අමතක අපිත් අමතක කඳු මුදුනෙ පොප්ලර්
තවම ඉදහිට දකිනවා
ඒ අතර හිස්තැනක් දුයෙෂෙන්
නුඹත් වැරදියි කියනවා

වසන්තය අග මියැදෙන්න පෙර
මෙපල් තුරුපත්
තවම නුඹ ගැන කියනවා
හිම කුණාටුව එන්න කලියෙන්
දුයිෂෙයින් මම අපේ ගීතය ලියනවා

Sunday, March 24, 2019

හඬ නිහඬ

ජීවිතය යනු තනිරූල් පොතක් නම් එහි නිල් ඉරි ඇදුන සුදුපාට පිටු අප විසින් දිනෙන් දින ලියනු ලබන්නේ වෛයි වර්ණ පෑන් තුඩු වලිනි. එකම පාටකින් ලියාගන යා නම් එහි ඒකාකාරි බව අප සිත විඩාවට පත්කරනු ලබයි. එවන් මොහොතක යම් වෙනසක් සිදුවන්නේ නම් යැයි ඇතුලු සිත මුරගා කියනු ලබයිනම් බොහෝවිට අප හුදකලා වීමට කැමැත්තක් දක්වයි.

ජීවිත පොතේ පිටු වැරදුනා යැයි නැවත මක මකා ලියන්නට නොහැක. හැකි වන්නේ අලුත් පිටුවකින් අලුතින් අරම්භ කිරීම පමණි. එයින් පැරණි පිටු ඉරා වීසිකළ හැකිනම් අතීතය අමතක කළ හැකි නමුත් අපට එය කළ නොහැක. වරද හදුනා ගත් පසු එතැන අතහැර ඉවත්ව යාම කෙතරම් අපහසුද යන්න මගේ සිත වේදනාවෙන් පුරවයි.

කුමාර සිරිවර්ධනයන් විසින් පරිවර්තනය කළ හඬනිහඬ මා අතට පත්වන්නේ  ආදරණීයයකුගෙන් ලද තෑග්ගක් ලෙසය. නැතිනම් එය බලහත්කාරයෙන් ලබාගත් තෑග්ගක් කියාද පවසන්නට හැකිය මම වඩාත් කැමති ලෙස එලෙස සඳහන් කරමි.

හඬ නිහඬ මා කම්පනය කළ තරම මෙතැකැයි කියා කිව නොහැක. අප දුරදිග නොබලා ප්‍රකාශ කරන එක පුංචි වදනක් පුද්ගලය මානසික මට්ටම පහළ හෙළීමට සමත් වන්නේ යැයි සිතන්නට පුළුවන් ද? නමුත් එය එසේය. ළමා කාලයේ සිදුවන ඇතැම් සිදුවීම් අපට කෙතරම් බලපාන්නේද යන්න හඬනිහඬ තුලින් පවසයි. එය කුතුහලය උපරිමයෙන් රදවාගත් කාවකි.
බොහෝවිට එහි අනුකම්පාව ත්‍රාසය කුතුහලය ඇලීසියා බෙරන්සන් සතු වුවද ? මාසිත වඩාත් කම්පාවට පත්කළේ තියෝ නම් මානසික චිකිත්සකවරයා යැයි කීවොත් ඔබ පුදුමවනු ඇත. මුළු කතාව පුරාම මම කියවූයේ අැලීසියාගේ ඛේදවාචකයක් නොව තියෝ නම් ළදරුවාගේ කතාවය. තියෝ නම් පුද්ගලයාගේ ආත්මානුකම්පාවය. ඇත්තෙන්ම ඇලීසියා බෙරන්සන් නොවන්නට තියෝ ගැන මෙපමණ වේදනාවක් මා සිතට නොදැනෙනු ඇත. මම තවමත් ඒ තුල අතරමන්ව සිටිමි. ඇලිසියාව සහ ඇයගේ නිහඬබව නොව මම තියෝව සොයමින් සිටිමි.

රෝජා🌷

Thursday, March 21, 2019

විල්පත්තු

ඝන අඳුර දුරු කරන පුර පෝය දා රෑක
අදත් ඇති මෘදු හාදු තුරු හිසක නුඹ තිබ්බ
අහස අතහැර යද්දි පිරුණු ගැබ්බර මේඝ
නිදා වුන් සඳ එපා පුර පසත් ඔබ එන්න


බුරුත කළුවර නැඳුන්  එක පෙළට හිස සින්ද
ඕලන්ද පල්ලියත් මුණිවතට පෙම් බැන්ද
කියාපං  සුළඟ නුඹ අරන් යනවද නැද්ද
හීන් ඇඹිලිය ගසක ඉකිබිඳින ඒ සද්ද

අෑත සිට මෙහි ආව කුරුල්ලනි අසාපන්
අදින් පසු අපිට නවතින්න හැකි තැනක් කියාපං
බිඳෙන් බිඳ දැවි දැවී මියෙන තුරු කියාපං
ඉදිං ඉන්පසුව අපි කෞතිකව තබාපං

Sunday, March 10, 2019

සුබ උපන්දිනයක් සුනන්දා



සුන්දරයි සුනන්දාට අදට හරියටම වසර දෙකයි. කුඩා කාලය පුදුමාකාරය. පොතක් කියවන්නට අපමණ ආසාවක් තිබුණද පොත් ලැබුණේම නැත. අනුන්ගෙන් ඉල්ලන්නටද පෙලබුණේ නැත්තේ මා ඉතා ලැජ්ජාශිලී දරුවකු නිසා විය යුතුය. අදටද ටිකක් කතා කළද හුදකලා වී තනියම සිටීමට උත්සහ දරන ගතියක් මා සතුව ඇත. මා වැඩිය කතා කරන්නට අකමැති මන්දැයි මට නොතේරෙන නමුදු ලියන්න ගියාම නම් එවැන්නක් නොමැත.

හිතේ තියන ඕනෑම දෙයක් කොලයකට අරන් කීතු කීතු කර දැමීමට තරම් මා හැඟීම් අකුරු කර⁣න්නේ ආවේස වූවකු සේය. ඒ හැඟීම්ය අප්‍රසිද්ධය. එලෙස නවකතාවක් කෙටිකතාවක් ලියන්නට මම උත්සහ නොකරන්නේ මගේ හොඳට වගේම පාඨකයාගේද සුබ සිද්ධිය නිසා විය යුතුය.

එදවස මට හීනයක් විය එනම් මගේ පොතක් ජනගත කිරීමය. ඒ අවස්ථාවට මා මුහුණ දෙන්නෙ කෙසේද කියා දැන ගන්නටය. 2017 මාර්තු 11 එදිනය උදාවිය. හර්ද ස්පන්ධනය තරමක් වැඩිපුර දැනුන බව කිව යුතුමය. පුංචි දේටත් කඳුළු එකතු කරන මම එදවසද කඳුළු එකතු කළ නිසාම දිනූ වැලිවිටිගොඩ ලොකු දෝශාරෝපනයක් කළේය. ඒ ආදරේට බව දනිමි.

එදා දවස අද සුන්දරයි සුනන්දා තරම්ම සුන්දරය... ආදරණීයම සිනහවක් රැගෙන පැමිණි පිරිස මතකයෙන් මැකීනොයයි. අදද ඒ ආදරය බිදකින්හෝ අඩුවක් වී නොමැත. වැඩි වනවා මිස අඩුවන්නේද නැත.

එදිනම තවත් එක් සිදුවීමක් මා මවිත කළ අයුරු මට මතකය. එනම් මා විසින් පදරචනය කළ පවරි අමරසා ගයන දීපති ජයසූරිය සංගීතවත් කළ වැස්ස මල්වර ගීතයට ඇගයීමක් නාරද කරුණාතිලකයන් විසින් රසෝඝයට එක්කර තිබීමය...

සුනන්දාට ලැබුණ ඇගයුම් බොහෝය. ඒ සෑම ඇගයුමක්ම මා හදවතේ ගැඹුරේම තැන්පත් වී ඇත. සුනන්දා කාව්‍ය විචාර කෘතියක් වූ කාව්‍යාලාප තුළද සැගව ගත්තාය. එය මට ඉමහත් සතුටකි.


සුන්දරයි සුනන්දා ජනගත වී වසර දෙකක් ගතවන තැන තවත් පිටපත් 15 පමණක් මා සතුව ඇත. එයද අවසන් වූ පසුව නැවත මුද්‍රණය නොකරන්නට මා ගත් තීරණය වෙනසක් නැති අතර ඇය මා හදවතේ ගැඹුරෙහිම තැන්පත් වනු ඇත. සුන්දරයි සුනන්දා මිලදී ගත් එටට ඇගයීම් එක්කල ඔබ සැමට පෙරලා ස්තූති කිරීමටත් ආදරය බෙදා දීමටත් අද අවස්ථාවක් කර ගනිමි.

රෝජා🌷

Friday, March 8, 2019

ගැහැනු

දිසා පාමොක් වීදියක
අනුලාවන් , සම්බුලාවන්
 විශාකාවන් අතර
අදත් ඉදහිට ඇස ගැටෙන
යශොදරා  , පටාචාරා කිසාගෝතමියන්
දැක නොදැක
විහාරමහාදේවියට ඇදෙන
මුම්ටාස් , රාධා සහ අශෝකමාලාවනි
අමතක නොකලමැන
රාගිදික සල්ලාල සඳ
නොයෙක් වෙස් ගෙන පැමිණ
අමාවක දින සැඟව යන